Saturday, December 7, 2013

ආදිවාසීන්- ඇස්කිමෝලා සහ වැද්දෝ



 මට මේ කතාව මතක් උනේ 'වැද්දන් ක්‍රිකට් ගැසීම' ගැන ලියැවුනු ලිපියක් දැකල!
මගේ මතකය නිවැරදිනම් මේක ටික කලකට පෙර වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පුවත් පතකට ලියපු ලිපියක තිබුණු දෙයක්.
එතුමාට වරක් ඇලස්කාවෙ සංචාරය කරන්න අවස්තාවක් හම්බවෙලා තියෙනව. එහෙ යනකොට එතුමගෙ පුන්චි දුව කියල තියෙනව "තාත්ත එනකොට ඇස්කිමෝ කෙනෙක් එක්ක ෆොටෝ එකක් අරගෙන එන්න" කියල.
මේ සංචාරය අතරතුරදි ඒගොල්ලන්ව ඇස්කිමෝ ගම්මානයකටත් එක්ක ගිහින් තියෙනව. පින්තූර වල තියෙනව වගේම අයිස් වලින් හදාපු ඉග්ලූ ගෙවල් වල ඒගොල්ලො ඉන්නවලු! ගමගේ මහත්තයත් ඒ ගෙයක් ගාව හිටපු ඇස්කිමෝ ගෑනු ලමයෙක්ගෙන්  අහල තියෙනව ගේ ඉස්සරහ ඉඳන් එයා එක්ක පින්තූරයක් ගන්න කැමතිද කියල, දුවගෙ කතාවත් කියල තියෙනව. ඉතින් පින්තූරෙ අරන් ඉවර වෙලා විස්තර එහෙම කතා කරල දෙන්න හිතවත් වෙලා තියෙනව. ලංකාව ගැනත් විස්තර අහල.   පස්සෙ මේ ගෑනු ළමය ගමගේ මහත්තයට එයාගෙ ඇත්තම විස්තරේ කියල තියෙනව.
එයා මෙක්සිකෝවෙන්ද කොහෙද ඇමරිකාවට ඉගෙනගන්න ආපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ලු!
ඇස්කිමෝ කෙනෙක් විදියට රඟපාන එක එයාගෙ පාර්ට් ටයිම් ජොබ් එකලු!
ඉතින් ගමගේ මහත්තය අහල තියෙනව, ඇත්තටම ඇස්කිමෝල කියල ජාතියක් මෙහෙ නැද්ද කියල. "නෑ නෑ එහෙම කට්ටියක් ඇත්තටම ඉන්නව. ඇමරිකන් කාරයො ඒගොල්ලන්ට හොඳ හීටර් ගහපු ගෙවල් හදල දීල තියෙන්නෙ. දැන් ඒ ගොල්ලො මේවයෙ ඉන්නෑ"කියල. ඒගොල්ලො සල්ලි කාරයො වෙන්නත් ඇති.ඒකනෙ බොරුවට රඟපාන්න වගේ රස්සාවකට ඒ ගොල්ලො එන්නැත්තෙ.
මට හිතුනෙ ලංකාවෙත් මේකම නේද වෙන්නෙ කියල. මහියංගනයට ට්‍රිප් එකක් යනකොට වෙලාව ඇති නැති හැටියට වැද්දො බලන්න කියල දඹානෙත්  යනව. පැල්කොටයක් ඉස්සරහ පිල උඩ වාඩිවෙලා වැද්දො එක්ක ගත්ත පින්තූර අපි ඕනතරම් face book එකේ දැකල තියෙනව. වැදි නායකයත්  එක්කම අපේ නෑදෑ මල්ලිල කට්ටියක් ගත්ත පින්තූරයක් අපේ ගෙදරත් තිබුනද කොහෙද.
අපිට වැද්දො ඕන වෙන්නෙ පින්තූරයක් ගන්න. එක එක මට්ටම් වල අයට එක එක විදියට ඒගොල්ලන්ව ඕනවෙනව ඇති.
ඒගොල්ලො ඇත්තටම වැද්දොද, ඒ ගොල්ලො වැදි සංස්කෘතිය ආරක්ෂා කරනවද කියල අපි හොයන්න යන්න ඕන නෑ.වන්නියල ඇත්තන්ට හොඳ සුවපහසු, රට උළු වහල, ටයිල් අල්ලපු, ලයිට් වතුර තියෙන ගෙදරක් ඇති. දඹානෙ අපි බලන්න යන්නෙ උදේ ඇවිල්ල හවසට යන එයාගෙ ඔෆිස් එක. මන් හිතන්නෙ ඇත්තටම වැද්දො කියල ජාතියක් දැන් නැතුවත් ඇති. ඒ ගොල්ලො ඒ ඒ ප්‍රදේශ වල බහුතරය වුනු සිංහල, දෙමල ජනතාව එක්ක මිශ්‍ර වෙලා.
මං අහල කියවල තියෙනව වැද්දන්ගෙ ජාන ලක්ෂන හිට අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්ය වගේ කතා. අනේ මන්ද ඕවයෙ ඇත්ත නැත්ත. මටනම් යුනිෆෝම් එක (ඒ කියන්නෙ රැවුල, කොණ්ඩෙ, සරම් කොටය, කෙටේරිය වගෙ දේවල්) හැරුනු කොට ඒ ගොල්ලන්ගෙ කිසි වෙනසක් පේන්නෙ නෑ. ඔය කලින් හිටපු වැදි නායකයත් දකුණු පලාතෙන් මොකද්ද කරල පැනල ආපු සිංහල මනුස්සයෙක් කියනවනෙ.
  ඒගොල්ලන්ට පාවිච්චි කරන ආදිවාසීන් කියන වචනෙත් එච්චර ගැලපෙන්නෙ නෑ වගේ. ආදිවාසීන් කියන්නෙ රටේ මුල් පදිංචි කරුවන්. ඒ වගේම බහුතරය ස්වදේශිකයින් නොව වෙනත් ආක්‍රමණිකයන් පිරිසක් වීමේ අවදානමක් තුල. හිතන්නකො බැරිවෙලාවක්වත්  සුද්දො ලංකාව අල්ල ගත්තම අපේ රටේ කිසිම කෙනෙක් ගැති නොවී, කලු සුද්දන් නොවී, නම්‍යශීලී නොවී දිගින් දිගටම යුද්ද කරන්න ගිහින් සමූල ඝාතනය වෙලා, යුරෝපීයයන් සහ ආනයනික දෙමල ජනතාව රටේ බහුතරය වුනානම්, සිංහල කියන්නෙත් ආදීවාසීන් කොටසක්! 
වැදි ජනතාව කියන්නෙ ලංකාවෙ උප සංස්කෘතියක්. සන්නිවේදනය, මාධ්‍ය භාවිතාව හා ගමනාගනය සමඟ උඩරට, පහතරට, දකුණේ තිබුනු උප සංස්කෘති නැතිවෙලා යනව වගේ වැදි උප සංස්කෘතියත් වේගයෙන් නැතිවෙලා ගිහින් න්‍යශ්ඨාවශේෂ ටිකක් ඉතුරුවෙලා තියෙනව. ඒ ටික තියෙන්නෙත් එයට ආර්තික වටිනාකමක් තියෙන නිසා විතරයි.
ඇලස්කාවෙ ඇස්කිමෝ ගම වගේ, බත්තරමුල්ලෙ අපේ ගම වගේ, වඩා සංවිධානාත්මකව, දඹානෙ අදිවාසී ගම්මානය සහ ක්‍රිකට් කණ්ඩායම, කිරි කොරහ නැටුම් කණ්ඩායම වගේ ඒ ආශ්‍රිත දේවල් මාකට් කර ගත්තනම් ඒගොල්ලන්ට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න පුලුවන් ආණ්ඩුවෙ සමුර්දිය නැතුව.   




6 comments:

  1. වැද්දො කියන්නෙ ස්වදේශිකයින් කියලා පිලිගන්න විද්‍යාත්මක සාධක නම් නැහැ මම හිතන්නෙ...

    ReplyDelete
    Replies
    1. හිස් කබලේ සහ ශරීරයේ මොනමොනවද ලක්ෂන අනුව ඔවුන් ඕස්ට්‍රේලියාවේ ඇබොරිජිනීස්ලට නෑකම් කියන බවටත්, සින්හලයින්ට වඩා අනාර්ය ලක්ෂන, එනම් විජය රජු හා අනිකුත් ආර්යයන් මහා පරිමාන ලෙස පැමිණීමට පෙර ලන්කාවේ විසූ ස්වදේශික ජනයාගේ ලක්ෂන ඔවුන් සතු බවත් සඳහන් වෙනව. කොයිතරම් දුරට විද්‍යාත්මකව ඔප්පු කරලද කියලනම් දන්නෙ නෑ.
      ස්තූතියි ප්‍රතිචාරයට!

      Delete
  2. වැද්දෝ මාර්කටින් කරනවා දැං කාලේ..

    ReplyDelete
  3. වැදි සංස්කෘතිය ආරක්‍ෂා කිරීම හෝ නොකිරීම වැද්දන්ගේ වැඩකි. ඇමතිලා ට පුද්ගල නිදහස අත පොවන්නට ඉඩ නොදිය යුතුයි

    ReplyDelete