Friday, March 21, 2014

මේ පාර ඡන්දය - මම ඡන්ද්ය දෙන්නේ.....

කෑම කාල අතුරුපසක් විදියට දේශපාලනය ගැන වචනයක් දෙකක් කතා කලොත් ඇරෙන්න දේශපාලනයට ඒ හැටි උනන්දුවක් කවදාවත් මගේ තිබුනෙ නෑ. මට වගේම මම කතාබහ කරන හුඟ දෙනෙකුටත් දේශපාලකයො අප්‍රසන්නයි. හැමෝටම ජීවත් වෙන්න ක්‍රමයක් ඕන තමයි. හැබැයි ජීවත් වෙන්න කියල අනුන්ගෙන් ගසා කන, තමන්ගෙ හෘද සාක්ෂිය අනුව (එහෙම එකක් උන්ට තියෙනවනම් ) වැරදි ජීවන ක්‍රමයක් තෝරා ගැනීමට සිදුවීම මොනතරම් අවාසනාවක්ද? දේශපාලකයො කියන්නෙ එහෙම පවුකාරයො කොටසකට.
බහුතරය ඒක දන්නව. මේ රට යන්නෙ මහ විනාසෙකට, මුන් දෙතුන්ගොල්ලො රට කනව කියල හූල්ලනව. ඒත් ඒකට කරන්න ඕන මොකද්ද කියල අපි දන්නෙ නෑ. අඩු ගානෙ මමනම් දන්නෙ නෑ! මේ ක්‍රමය වෙනස් කරන්න බලය ඉල්ලන අයත් ඒ බෝට්ටුවෙම කියල ඔප්පු කරල තියෙන්නෙ වරක් දෙවරක් නෙවෙයි.
ඒ ඔක්කොම දැනගෙනත් ඡන්දෙ දෙන මිනිස්සුත් ඉන්නව. සමහරු කලකිරීමට ඡන්දෙ නොදී ඉන්නව. ටික දෙනෙක් කලකිරීම පෙන්වන්න චන්ද කොලේ කටුගාල අවලංගු කරනව.
මමත් වැඩිහරියක් කරල තියෙන්නෙ චන්දෙ නොදී හිටපු එක. ඇත්තටම වෙන ප්‍රයෝජනවත් වැඩක්  තියේනම් ඒක නවත්වල ඡන්දෙ දාන්න යන්නෙ නෑ
ඡන්දෙ දාන්නය  කියල, අයතනයෙන් නිවාඩුත් අරගෙන, ගෙදෙට්ට වෙලා ඉන්න එක නිකන් මොකද්ද මොකද්ද වගේ නම් ගිහින් ඔහෙ ඡන්දෙ කටුගාල එනව.

ගියපාර ඡන්දෙ වෙලාවෙ, මේ කෙහෙල්මල් ජනතා පරමාධිපත්‍ය ඡන්දෙන් ඇත්තටම කරන්න කිසිම දෙයක් නැද්ද කියල මං මගෙ සිඟිති මොලෙන් කල්පනා කලා. මේ ආණ්ඩුවෙ වැඩ පිළිවෙලට මම කැමති නෑ. ආණ්ඩුව දිනන එක වලක්වන්න අමාරු උනත්, 60% - 70% ක් වගේ විශාල ඡන්ද ප්‍රතිශතයකින් ආණ්ඩුව දිනන එක නවත්වන්න ඕන! ('ජනතාව අපේ ඒව ඔක්කොම මහ ඉහලින් අනුමතකරනව' කියල TV එකේ ඇහෙනකොට කනට මී පැණි වක්කරනව වගේ නේද? :D  )හැබැයි එහෙමයි කියල UNP, JVP, ගිනිසිලුවට මගේ මනාපෙකුත් නෑ. ඒ ගොල්ලන්ට ඡන්දෙ දීල, "අපිට වැඩියි, අපිට වැඩියි" කියල උඩපනින කොටයි, පස්සෙන්පහු පිස්සු වැඩ කරද්දියි, 'අනේ මගේ ඡන්දෙත් ඔතනනෙ!' කියල පස්චත්තාප වෙන්නත් මං කැමති නෑ.
ඡන්දෙ නොදාන එකෙනුත්, කටුගාල දාන එකෙනුත් කිසිම බලපෑමක් නෑ. මොකද ආණ්ඩුවෙ ඡන්ද සංඛ්‍යාව මනින්නෙ වලංගු ඡන්ද වල ප්‍රතිශතයක් ලෙසට. ලියාපදිංචි හෝ ප්‍රකාශිත ඡන්ද වලින් ප්‍රතිශතයක් ලෙස කිසිම තැනක ඒක ඉස්මතු වෙන්නෙ නෑ.
මම පහුගිය මැතිවරණයෙදි වගේම මේ මැතිවරණයෙදිත් ඡන්දය දෙන්නෙ ස්වාධීන කණ්ඩායමකට. පව් අප්පා! ඉල්ලන මිනිස්සුවත් ඒ ගොල්ලන්ට ඡන්දෙ දෙන්නෙ නෑනෙ! එතකොට මගේ ඡන්දය වලංගු ඡන්දයක්! ආණ්ඩුවේ හා අනෙකුත් පක්ෂවල ඡන්ද ප්‍රතිශතය අඩුකරන්න මගේ ඡන්දයත් දායක වෙලා තියෙනව. ඡන්දය නොදාන මිනිස්සුයි, අඩුම ගානෙ ඡන්දය කටුගාන 5% කට වැඩි පිරිසයි මේක කලොත් මොකක් හරි බලපෑමක් වෙන්න ඉඩ තියෙනව. මම ඉහත දක්වල තියෙන්නෙ පසුගිය වයඹ ඡන්දෙ, ආණමඩුව ආසනයෙ ප්‍රථිපල.  අවලංගු ඡන්ද 6.56% වලංගු වුනානම්, 72.8% ට තියෙන PA ඡන්ද සීයට හැට ගානට අඩු වෙනව. මහලොකු දෙයක් නෙවෙයි!හැබැයි යමක් නැත්තෙමත් නෑ නේද?  
කවුරුහරි හිතන්න පුළුවන් 'යකෝ! හැමෝම මෙහෙම හිතල, බැරිවෙලාවත් අපත කණ්ඩායමකට ආසනයක් ආවොත්!' කියල. බයවෙන්න එපා. එහෙම අහම්බ කවදාවත් සිදුවෙන්නෙ නෑ. වුනත් මොකද? පත්වෙන්නෙ කොළඹ නගරාධිපති වුනු කණ්නඩි පක්ෂෙ ත්‍රිවිල් රියැදුරු මහතා වගේ කෙනෙක්. කොහෙවත් යන නසරානියෙකුගෙ අපත ඥාතියෙක් නෙවෙයි.     
විනෝදය පතා ඔයගොල්ලන්ට තව පොඩි දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඡන්දෙ දුන්නු ස්වාධීන කණ්ඩායමේ අංකෙ මතක තියාගන්න ඕන. ඡන්ද ප්‍රතිපල නිකුත් වුනාට පස්සෙ, මැතිවරණ දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවියට ගිහින් අදාල පක්ෂෙට මනාප කීයක්  වැටිලද කියල බලන්න. ඔබ වාසනාවන්තනම්  1 ලෙස සටහන් වී තියේවි! කාටද ආඩම්බර?

අපිවගේ  ජහමනයන්ට ගන්න තියෙන්නෙ ඔයවගේ සිඟිති ආතල් තමයි ඉතින්!