Friday, December 20, 2013

මහදැනමුත්තා සිහිගන්වන හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය ස්ථානය, Heendheniya Pattigoda railway station



වේයන්ගොඩ සිට දුම්රියෙන් කොළඹ කොටුව දෙසට යනවිට හමුවන ප්‍රථම දුම්රිය ස්ථානය හීන්දෙනිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානයයි. කෙටිම නමක් ඇති දුම් රිය ස්ථානය "වග"වග බොහෝ දෙනා දනිති. දිගම නම ඇති දුම්රිය ස්ථානය 'හීන්දෙනිය පට්ටිගොඩ'යැයි සිතමි.
මේ දීර්ඝ නමටත් ඉතිහාස කතාවක් තිබේ. මෙම කතාව තාත්තා විසින් සමඟි පෙරමුණු රජයේ ප්‍රශ්න විසඳීමේ සමර්තකම පිලිබඳ උජාරුවෙන් කිය ලද්දක් බැවින් ගල් වැලි ඉවත් කර, හරය පමණක් ගත යුතුය. :)
ඔහු පැවසූ පරිදි කතාව මෙසේය.
හීන්දෙනිය හා පට්ටිගොඩ නමින් විශාල වෙල් යායකින් වෙන් වූ ගම්මාන දෙකක් වේ. මේ කියන කාලයේ (60 දශකයේ පමණ විය යුතුය ) එම ගම් දෙක අතර නයි මුගටි වර්ගයේ තරහක් වීලු! මේ  අතරතුර එම ප්‍රදේශයට දුම්රිය ස්ථානයක් ද යෝජනා වී තිබිණි. ගහමරාගැනීම් නිසා එක් ගමක දුම්රිය ස්ථානය ඉදිකලොත් අනෙක් ගමේ අයට එයට පැමිණීමට නොහැකිලු! දෙපැත්තේම ඉල්ලීම් සලකා බැලූ එවක රජය විසින් ( තාත්තාගේ මතයට අනුව එලකිරි වර්ගයේ ) විසඳුමක් සපයන ලදී. එනම් ගම් දෙක මැද පිහිටි වෙල්යායේ මැදට වන්නට දුම්රිය ස්ථානය ඉදිකිරිමය!
කොතෙක් සාදාරනද කියතොත්, ගම් දෙකේම නම් පවා එකතුකොට දුම්රියපලට නම් තබන ලදී. (පට්ටිගොඩ හීන්දෙනිය ලෙස නම් නොකිරීම පිලිබඳව ප්‍රශ්නයක් ඇති උනාද දන්නෙ නෑ :D )
බැලූ බැල්මට සාධාරණ යැයි සිතුනද, එමඟින් පැන නැගුණු ගැටලු රාශියක්වේ.
මෙම දුම්රිය ස්ථානයට මෑතක් වනතුරුම පාරක් නොතිබිණි. මඟීන් පැමිණියේ වෙල නියරක් ඔස්සේය. දැනට ඇති පාරද ත්‍රිරෝද රථයකට වඩා විශාල වාහනයකට ප්‍රමාණවත් නොවේ.
ප්‍රවාහනය සඳහා සියලු බඩු කර තබාගෙන පැමිණිය යුතුය. ලොරියකට කිසිදා දුම්රිය ස්ථානය අසලට පැමිණිය නොහැක. 
වැසි කාලයට මුළු පාරම ජලයෙන් යටවේ. සියලු මඟීන් අවදානමක් ගෙන පැමිණෙන්නේ රේල් පාර ඔස්සේය.
මා දන්නා තරමින් බස්නාහිර පලාත තුල පිහිටි පහසුකම් අඩුම දුම්රිය ස්ථානය හීන්දෙනිය පට්ටිගොඩ යැයි සිතමි.
දැන් ගම් දෙක අතර අරෝව වැඩිහිටියන් හාස්‍යයෙන් සිහිකරන අතීත සිද්ධියක් පමණි.
බාල පරම්පරාව එහෙම එකක් තිබුනාද කියාවත් දන්නේ නැත!
ඔවුන් සිතනු ඇත්තේ තව මීටර් හාර පන්සීයක් ඉදිරියෙන් ඇති හතරමං හන්දිය අසල දුම් රියපල ඉදිවීනම්  කෙතරම් පහසුද කියා පමණි.
ගම්වල තරහ මරහ වැඩිකල් නොපවතී. ඊට වඩා ආයුෂක් දුම්රියපලකට තිබේ. මහදැන මුත්තා විසින් එළුවාගේ බෙල්ලත් කපා මුට්ටියත් බිඳ සාදාරණය ඉටු කරන ආකාරයේ බොලඳ තීරන නොගෙන දුරදිග බලා කටයුතු කල යුතුව තිබිණි.  

25 comments:

  1. මමත් බොහෝවිට කල්පනා කර තිබෙනවා මේ දුම්රියපොළ පසුකර යද්දී, මේ තරම් දිග නමක් මොකටද, ඇයි මේ තරම් දුෂ්කර තැනක මේ දුම්රියපොළ පිහිටෙව්වේ කියා. අනේ ඇත්තට මේ වගේ දේවලුත් මේ රටේ වෙනවනේ. දකුණු දුම්රිය මාර්ගයේ නොම්මර 1 කියලා දුම්රියපොලක් තියෙන්නෙත් මෙවැනි හේතුවක් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. හැබැයි ලස්සන තැන නේද? සමහර කාල වලට ඈතින් සිරීපාදෙත් පේනව. ඔතනින් නගින බහින අයට තමයි ඉතින් අවුල!
      නොම්මර 1 දුම්රියපලේ කතාවනම් දන්නෙ නෑ.

      Delete
  2. ඔතන පාරකුත් හැදුවනම් තමයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ. පාරක් නැති නිසා නේ ඔය අවුල.

    ReplyDelete
    Replies
    1. දැන් පාරක් තියෙනව. වැස්ස කාලෙට තමයි ඒක යට වෙන්නෙ. වතුර බහින්න ලොකු බෝක්කු තියල පාර ඉස්සුවනම් ටිකක් හරියයි.වෙල්යාය දෙකට බෙදෙන්න පාරක් හදන එක වියදම් වැඩක්.
      මන් කියන්නෙ ඕක තව මීටර් 300ක් ඉස්සරහට අරන් ගියානම් කිසි ප්‍රශ්නයක් නෑනෙ!

      Delete
  3. වග ස්ටේෂන් එකනම් දන්නවා...ඔය කියන්නේ පාදුක්කේ වග නේද?

    ReplyDelete
  4. මහත්මයාණෙනි ,ඔබේ ලිපිය තරමක් සත්ය බව මම පිලිගනිමි .එහෙත් ඊට හීන්දෙනිය පට්ටිගොඩ යන නම ලැබූ අන්දම මේ පිළිබද හොදින් දන්නා කෙනෙක් වසයෙන් මෙසේ සටහන් කරමි.
    70 දසකයේ මුල් බාගයේ එවකට සමගි පෙරමුණ රජය යටතේ ගරු මැතිනිය විසින් මේ නම මෙම දුම්රිය ස්ථානයට ලබාදෙන ලදී .නම ලැබූ අන්දම ඉතා රසවත්ය .එවකට පරමුල්ල ,හීන්දෙනිය ,පට්ටිගොඩ.ගම්වල නිදහස් පක්ෂ සමිති බොහෝ බලවත්ව තිබිණි .එමෙන්ම මේ සියලු ගම වලින් ගරු මැතිනියගෙන් මෙම දුම්රිය ස්ථානයලබාදෙන ලෙස දැඩිව ඉල්ලීම් කර තිබිණි .ඒ අනුව මෙම දුම්රිය ස්ථානය සිල්පර කොට බාවිතා කරමින් එඩි කරන ලදී .දැනට ම විදේශයක සිටින බැවින් දැනටත් එය සිල්බර කොට මතද යන්න මම නොදනිමි .කෙසේ උවත් එහි වැඩ අවසන් කර දුම්රිය දෙපාර්මේන්තුවේ මහතෙක් පැමිණ එහි නම ලෙස හීන්දෙනිය යනුවෙන් අකුරු අඳින ලදී .පසුද උදයේ මැතිනිය හමුවූපට්ටිගොඩ සමිති නියෝගිතයන් මේ පිළිබද එතුමියට විරෝදය දක්වා තිබිණි .ඉන්පසු එහි නම නැවත පට්ටිගොඩ යනුවෙන් වෙනස් කරන ලදී.එටද විරෝදය පෑ පරමුල්ල හා හීන්දෙනිය ගම් එතුමිය මුණ ගැසී මේ පිළිබද දීර්ග කතා බහක නිරත වී ඇත .අවසානයේදී විසදුමක් නොමැති කල සියල්ලන් පිටත් කර මෙම නම එතුමිය විසින් යෝගන කර මේ පිළිබද සියලු කතා බහ මින් අවසන් බව ඔවුනට දැන්ව ඇත .
    මේ නම මෙම දුම්රිය ස්ථානයට ලැබුනේ එසේය. මෙම ස්ථානයට පරමුල්ල හා පට්ටිගොඩ යා කරමින් මාර්ගයක් තිබුණිද එය ඉතා අබලන්ව තිබිණි .
    තත්වය මෙසේ නම එම ගෞරවනීය කාන්තව සිහිපත් කර මෙම මාර්ගය සැකස දීම මහගු පින් කමක් වනු ඇත .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ටුවට! අපේ තාත්තත් ඔය ස්වරයෙන්ම තමයි ඒක ගැන කතා කරන්නෙ.
      දැන්නම් කොන්ක්‍රීට් කොට උඩ තමයි ස්ටෂන් එක තියෙන්නෙ. ෆ්ලැර්ෆෝම් දෙකටම පොඩි වහල දෙකකුත් හදල තියෙනව. ඒත් පහසුකම් අතින් ඒ අවට තියෙන හැම ස්ටේෂන් එකක්ම මේකට වඩා සෑහෙන්න ඉදිරියෙන් දැන් ඉන්නෙ. පහත ලින්ක් එකේ බෝඩ් එකේ පින්තූරයක්නම් තියෙනව.
      http://2.bp.blogspot.com/_sUYoG19Gozg/S09_nyTlsbI/AAAAAAAAAdQ/nq7HZ25omG8/s1600-h/heendeniya+pattigoda+railway+station.JPG

      Delete
    2. ස්තුති ඔබේ පතිචාරයට ,සටහන සම්පුර්ණ කිරීමට අවැසි කරුණක් මග හැරී තිබුණු අයුරු පසුව දුටුවා එයද අනිවාර්යෙන් සටහන් කළයුතුව තියෙනවා .මෙම දුම්රිය ස්ථානයේ පළමු ස්ථානදිපති වරයා ලෙසට මගලෙගොඩ අර්.එම්.බී .දිසානායක මහතා කටයුතු කලා.ඉතාමත් ගුණගරුක ,කාටත් ලැදි ඒ මහතා දීර්ග කාලයක් එම ස්ථානයේ සේවය කලා.දැනට ජීවතුන් අතර නැති ඒ මහතාගේ ගුණ සුවද තවමත් අප අතර තිබෙනවා .වැඩි විස්තර ඔබේ පියාගෙන් ඔබට දැනගත හැකි වේවි .

      Delete
    3. මේ වගේ ගෙං වැක කිරීම සහ එයට ඉඩ දීම ගැන සලකන විට පැහැදිලිවන්නේ සමගි පෙරමුණ රජයේ සහ සිරිමා ගේ අමන මරි-මෝඩකමයි.

      ඒ සමගම කිව යුත්තේ, මා අසා ඇති පරිදි, ඔය වගේ කුඩා දුම්රිය නැවතුම්වලට පත් කෙරෙන්නේ දුම්රිය ස්ථානාධිපති ලා නොව බුකිං ක්ලාක් ලා බවයි.

      Delete
    4. මා දන්නා පරිදි ඔවුන්ගේ තනතුර දුම්රිය ස්ථානාධිපති තමයි. ඔය ලොකු ස්ටේෂන් වල ටිකට් නිකුත් කරන අයත් මන් හිතන්නෙ දුම්රිය ස්ථානාධිපතිල! ඔවුන්ගෙ එක එක ශ්‍රේණි තියෙනව වෙන්න ඕන. තනතුර මොකක් උනත් එම ස්ථානයේ අධිපති, ස්ථානාධිපති වෙන්න ඕන නේද?

      Delete
    5. දිසානායක මහතාට මගේත් ප්‍රණාමය! අපේ තාත්ත නම් එච්චර ලඟින් විස්තර දන්නෙ නෑ

      Delete
    6. කතන්දර කාරයා බ්ලොග් මහතාණෙනි දුම්රිය දෙපාර්මේන්තුවේ තනතුරු ප්ළිබද ඔබේ දැනුම ඉතා විශිෂ්ට බව පෙනේ .එමෙන්ම ඔබේ කොමෙන්ටුවද ඉතා විශිෂ්ට මට්ටමක පවතී.ඔබට ජය .
      එමෙන්ම කලිකාල මහතාණෙනි ,ඔබේ අදහස් ඉදිරිපත් කිරීමේ ප්‍රවිෂ්ට තාවය ඉතා උසස් මට්ටමක පවතී .ස්තුති .

      Delete
  5. මෙම ලිපිය ලියු ඔබ පට්ටිගොඩ පදිංචි අයෙක් විය යුතු බව මම අනුමාන කරමි .

    ReplyDelete
  6. මහදැනමුත්තා ටයිප් එකේ විසඳුමක්! - ඉස්සරලම නම කෙටි කරන්න්ට ඕන... 'පට්ටි-දෙනිය' වගේ එකක් මරු. ඊළඟට හතර මං හන්දියේ ඉඳලා රේල්පාර අයින දිගේ කොන්ක්‍රීට පාර්ක් අදන්න ඕන.. වැඩේ ගොඩ!

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නෙ කොන්ක්‍රීට් කොට ස්ටේෂම ගලවල තව මීටර් 300ක් ඉස්සරහට අරගෙන යන්නත් පුලුවන්. ඒත් ඉතින් හරිම ලස්සන තැන. අනිත් ඒව වගේ බදාම ගොඩවල් නෙවේ

      Delete
    2. 'පට්ටි දෙනිය' හරි යන්නෙ නෑ. 'දෙනි පට්ටිය' උනානම් ටිකක් හරි වගේ! මොකද දැන් නමේ ඉස්සෙල්ල තියෙන්නෙ හීන්දෙනිය කියලනෙ. :D :D
      මම නම් හිතන්නෑ දැන් ඕකට නොම්මර 2 කියල දැම්මත් කවුරුවත් මුකුත් කියයි කියල!

      Delete
  7. තව එකක් තියෙනවා "නොම්මර එක" කියලා. ඒකටත් නම ලැබිලා තියෙන්නේ ඔය කේස් එක නිසාම තමා.

    ReplyDelete
    Replies
    1. නොම්මර 1 දුම්රියපලේ කතාවනම් දන්නෙ නෑ. නම මොකක් උනාම මක් වෙනවද? මිනිස්සුන්ට වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද මන්ද මේ වගේ නමකට සටන් කරන්නෙ.


      Delete
  8. මම් දැකලා තියෙනවා විජය රජදහන කියලා නැවතුම්පොළක්.. මතක හැටියට ඔය හරියෙමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, මීරිගම කිට්ටුව තියෙන්නෙ.ඒක පහුකාලීනව රජයේ සේවකයින්ගේ නිවාස සන්කීර්ණයක් අශ්‍රිතව බිහිවුවක්. රජයේ සේවකයන්ට ලබාදුන් වත්තට දාපු නම තමයි විජයරජදහන!

      Delete
    2. කලිකාල......ඕක විජයරජ දහන වුනේ මීරිගම මහේන්ද්‍ර විජේරත්නගේ සම්බන්ධයක් නිසාද?

      Delete
    3. මහේන්ද්‍ර විජේරත්න කියන්නෙ ඔය ස්ටේෂන් එක හදන කලෙ මීරිගම UNP මන්ත්‍රී. ඒකාලෙ ඇමති කෙනෙක්ද කොහෙද. ඔය වැඩේට අනිවාර්යයෙන් සම්බන්ඳ වෙන්න ඇති.
      නමත් ඒ සම්බන්ඳකම් නිසා ඇතිවෙන්න ඇති කියල මටත් හිතුනෙ ඔයාගෙ කමෙන්ට් එකෙන් පස්සෙ .

      Delete
  9. 2021/11/28 දැන් කියලා වෙනසක් නෑ...

    ReplyDelete