Friday, December 20, 2013

මහදැනමුත්තා සිහිගන්වන හීන්දෙනිය පට්ටිගොඩ දුම්රිය ස්ථානය, Heendheniya Pattigoda railway station



වේයන්ගොඩ සිට දුම්රියෙන් කොළඹ කොටුව දෙසට යනවිට හමුවන ප්‍රථම දුම්රිය ස්ථානය හීන්දෙනිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානයයි. කෙටිම නමක් ඇති දුම් රිය ස්ථානය "වග"වග බොහෝ දෙනා දනිති. දිගම නම ඇති දුම්රිය ස්ථානය 'හීන්දෙනිය පට්ටිගොඩ'යැයි සිතමි.
මේ දීර්ඝ නමටත් ඉතිහාස කතාවක් තිබේ. මෙම කතාව තාත්තා විසින් සමඟි පෙරමුණු රජයේ ප්‍රශ්න විසඳීමේ සමර්තකම පිලිබඳ උජාරුවෙන් කිය ලද්දක් බැවින් ගල් වැලි ඉවත් කර, හරය පමණක් ගත යුතුය. :)
ඔහු පැවසූ පරිදි කතාව මෙසේය.
හීන්දෙනිය හා පට්ටිගොඩ නමින් විශාල වෙල් යායකින් වෙන් වූ ගම්මාන දෙකක් වේ. මේ කියන කාලයේ (60 දශකයේ පමණ විය යුතුය ) එම ගම් දෙක අතර නයි මුගටි වර්ගයේ තරහක් වීලු! මේ  අතරතුර එම ප්‍රදේශයට දුම්රිය ස්ථානයක් ද යෝජනා වී තිබිණි. ගහමරාගැනීම් නිසා එක් ගමක දුම්රිය ස්ථානය ඉදිකලොත් අනෙක් ගමේ අයට එයට පැමිණීමට නොහැකිලු! දෙපැත්තේම ඉල්ලීම් සලකා බැලූ එවක රජය විසින් ( තාත්තාගේ මතයට අනුව එලකිරි වර්ගයේ ) විසඳුමක් සපයන ලදී. එනම් ගම් දෙක මැද පිහිටි වෙල්යායේ මැදට වන්නට දුම්රිය ස්ථානය ඉදිකිරිමය!
කොතෙක් සාදාරනද කියතොත්, ගම් දෙකේම නම් පවා එකතුකොට දුම්රියපලට නම් තබන ලදී. (පට්ටිගොඩ හීන්දෙනිය ලෙස නම් නොකිරීම පිලිබඳව ප්‍රශ්නයක් ඇති උනාද දන්නෙ නෑ :D )
බැලූ බැල්මට සාධාරණ යැයි සිතුනද, එමඟින් පැන නැගුණු ගැටලු රාශියක්වේ.
මෙම දුම්රිය ස්ථානයට මෑතක් වනතුරුම පාරක් නොතිබිණි. මඟීන් පැමිණියේ වෙල නියරක් ඔස්සේය. දැනට ඇති පාරද ත්‍රිරෝද රථයකට වඩා විශාල වාහනයකට ප්‍රමාණවත් නොවේ.
ප්‍රවාහනය සඳහා සියලු බඩු කර තබාගෙන පැමිණිය යුතුය. ලොරියකට කිසිදා දුම්රිය ස්ථානය අසලට පැමිණිය නොහැක. 
වැසි කාලයට මුළු පාරම ජලයෙන් යටවේ. සියලු මඟීන් අවදානමක් ගෙන පැමිණෙන්නේ රේල් පාර ඔස්සේය.
මා දන්නා තරමින් බස්නාහිර පලාත තුල පිහිටි පහසුකම් අඩුම දුම්රිය ස්ථානය හීන්දෙනිය පට්ටිගොඩ යැයි සිතමි.
දැන් ගම් දෙක අතර අරෝව වැඩිහිටියන් හාස්‍යයෙන් සිහිකරන අතීත සිද්ධියක් පමණි.
බාල පරම්පරාව එහෙම එකක් තිබුනාද කියාවත් දන්නේ නැත!
ඔවුන් සිතනු ඇත්තේ තව මීටර් හාර පන්සීයක් ඉදිරියෙන් ඇති හතරමං හන්දිය අසල දුම් රියපල ඉදිවීනම්  කෙතරම් පහසුද කියා පමණි.
ගම්වල තරහ මරහ වැඩිකල් නොපවතී. ඊට වඩා ආයුෂක් දුම්රියපලකට තිබේ. මහදැන මුත්තා විසින් එළුවාගේ බෙල්ලත් කපා මුට්ටියත් බිඳ සාදාරණය ඉටු කරන ආකාරයේ බොලඳ තීරන නොගෙන දුරදිග බලා කටයුතු කල යුතුව තිබිණි.  

Saturday, December 7, 2013

ආදිවාසීන්- ඇස්කිමෝලා සහ වැද්දෝ



 මට මේ කතාව මතක් උනේ 'වැද්දන් ක්‍රිකට් ගැසීම' ගැන ලියැවුනු ලිපියක් දැකල!
මගේ මතකය නිවැරදිනම් මේක ටික කලකට පෙර වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පුවත් පතකට ලියපු ලිපියක තිබුණු දෙයක්.
එතුමාට වරක් ඇලස්කාවෙ සංචාරය කරන්න අවස්තාවක් හම්බවෙලා තියෙනව. එහෙ යනකොට එතුමගෙ පුන්චි දුව කියල තියෙනව "තාත්ත එනකොට ඇස්කිමෝ කෙනෙක් එක්ක ෆොටෝ එකක් අරගෙන එන්න" කියල.
මේ සංචාරය අතරතුරදි ඒගොල්ලන්ව ඇස්කිමෝ ගම්මානයකටත් එක්ක ගිහින් තියෙනව. පින්තූර වල තියෙනව වගේම අයිස් වලින් හදාපු ඉග්ලූ ගෙවල් වල ඒගොල්ලො ඉන්නවලු! ගමගේ මහත්තයත් ඒ ගෙයක් ගාව හිටපු ඇස්කිමෝ ගෑනු ලමයෙක්ගෙන්  අහල තියෙනව ගේ ඉස්සරහ ඉඳන් එයා එක්ක පින්තූරයක් ගන්න කැමතිද කියල, දුවගෙ කතාවත් කියල තියෙනව. ඉතින් පින්තූරෙ අරන් ඉවර වෙලා විස්තර එහෙම කතා කරල දෙන්න හිතවත් වෙලා තියෙනව. ලංකාව ගැනත් විස්තර අහල.   පස්සෙ මේ ගෑනු ළමය ගමගේ මහත්තයට එයාගෙ ඇත්තම විස්තරේ කියල තියෙනව.
එයා මෙක්සිකෝවෙන්ද කොහෙද ඇමරිකාවට ඉගෙනගන්න ආපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ලු!
ඇස්කිමෝ කෙනෙක් විදියට රඟපාන එක එයාගෙ පාර්ට් ටයිම් ජොබ් එකලු!
ඉතින් ගමගේ මහත්තය අහල තියෙනව, ඇත්තටම ඇස්කිමෝල කියල ජාතියක් මෙහෙ නැද්ද කියල. "නෑ නෑ එහෙම කට්ටියක් ඇත්තටම ඉන්නව. ඇමරිකන් කාරයො ඒගොල්ලන්ට හොඳ හීටර් ගහපු ගෙවල් හදල දීල තියෙන්නෙ. දැන් ඒ ගොල්ලො මේවයෙ ඉන්නෑ"කියල. ඒගොල්ලො සල්ලි කාරයො වෙන්නත් ඇති.ඒකනෙ බොරුවට රඟපාන්න වගේ රස්සාවකට ඒ ගොල්ලො එන්නැත්තෙ.
මට හිතුනෙ ලංකාවෙත් මේකම නේද වෙන්නෙ කියල. මහියංගනයට ට්‍රිප් එකක් යනකොට වෙලාව ඇති නැති හැටියට වැද්දො බලන්න කියල දඹානෙත්  යනව. පැල්කොටයක් ඉස්සරහ පිල උඩ වාඩිවෙලා වැද්දො එක්ක ගත්ත පින්තූර අපි ඕනතරම් face book එකේ දැකල තියෙනව. වැදි නායකයත්  එක්කම අපේ නෑදෑ මල්ලිල කට්ටියක් ගත්ත පින්තූරයක් අපේ ගෙදරත් තිබුනද කොහෙද.
අපිට වැද්දො ඕන වෙන්නෙ පින්තූරයක් ගන්න. එක එක මට්ටම් වල අයට එක එක විදියට ඒගොල්ලන්ව ඕනවෙනව ඇති.
ඒගොල්ලො ඇත්තටම වැද්දොද, ඒ ගොල්ලො වැදි සංස්කෘතිය ආරක්ෂා කරනවද කියල අපි හොයන්න යන්න ඕන නෑ.වන්නියල ඇත්තන්ට හොඳ සුවපහසු, රට උළු වහල, ටයිල් අල්ලපු, ලයිට් වතුර තියෙන ගෙදරක් ඇති. දඹානෙ අපි බලන්න යන්නෙ උදේ ඇවිල්ල හවසට යන එයාගෙ ඔෆිස් එක. මන් හිතන්නෙ ඇත්තටම වැද්දො කියල ජාතියක් දැන් නැතුවත් ඇති. ඒ ගොල්ලො ඒ ඒ ප්‍රදේශ වල බහුතරය වුනු සිංහල, දෙමල ජනතාව එක්ක මිශ්‍ර වෙලා.
මං අහල කියවල තියෙනව වැද්දන්ගෙ ජාන ලක්ෂන හිට අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්ය වගේ කතා. අනේ මන්ද ඕවයෙ ඇත්ත නැත්ත. මටනම් යුනිෆෝම් එක (ඒ කියන්නෙ රැවුල, කොණ්ඩෙ, සරම් කොටය, කෙටේරිය වගෙ දේවල්) හැරුනු කොට ඒ ගොල්ලන්ගෙ කිසි වෙනසක් පේන්නෙ නෑ. ඔය කලින් හිටපු වැදි නායකයත් දකුණු පලාතෙන් මොකද්ද කරල පැනල ආපු සිංහල මනුස්සයෙක් කියනවනෙ.
  ඒගොල්ලන්ට පාවිච්චි කරන ආදිවාසීන් කියන වචනෙත් එච්චර ගැලපෙන්නෙ නෑ වගේ. ආදිවාසීන් කියන්නෙ රටේ මුල් පදිංචි කරුවන්. ඒ වගේම බහුතරය ස්වදේශිකයින් නොව වෙනත් ආක්‍රමණිකයන් පිරිසක් වීමේ අවදානමක් තුල. හිතන්නකො බැරිවෙලාවක්වත්  සුද්දො ලංකාව අල්ල ගත්තම අපේ රටේ කිසිම කෙනෙක් ගැති නොවී, කලු සුද්දන් නොවී, නම්‍යශීලී නොවී දිගින් දිගටම යුද්ද කරන්න ගිහින් සමූල ඝාතනය වෙලා, යුරෝපීයයන් සහ ආනයනික දෙමල ජනතාව රටේ බහුතරය වුනානම්, සිංහල කියන්නෙත් ආදීවාසීන් කොටසක්! 
වැදි ජනතාව කියන්නෙ ලංකාවෙ උප සංස්කෘතියක්. සන්නිවේදනය, මාධ්‍ය භාවිතාව හා ගමනාගනය සමඟ උඩරට, පහතරට, දකුණේ තිබුනු උප සංස්කෘති නැතිවෙලා යනව වගේ වැදි උප සංස්කෘතියත් වේගයෙන් නැතිවෙලා ගිහින් න්‍යශ්ඨාවශේෂ ටිකක් ඉතුරුවෙලා තියෙනව. ඒ ටික තියෙන්නෙත් එයට ආර්තික වටිනාකමක් තියෙන නිසා විතරයි.
ඇලස්කාවෙ ඇස්කිමෝ ගම වගේ, බත්තරමුල්ලෙ අපේ ගම වගේ, වඩා සංවිධානාත්මකව, දඹානෙ අදිවාසී ගම්මානය සහ ක්‍රිකට් කණ්ඩායම, කිරි කොරහ නැටුම් කණ්ඩායම වගේ ඒ ආශ්‍රිත දේවල් මාකට් කර ගත්තනම් ඒගොල්ලන්ට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න පුලුවන් ආණ්ඩුවෙ සමුර්දිය නැතුව.   




Monday, February 18, 2013

නාන ලිඳේ කතාව (හැලපයාගේ කතාවට ඌන පූර්ණයක්)

හැලපයාගේ නන ලිඳේ කතාව මම දැක්කෙ අටම්පහුරගේ ලිපියකින්ද කොහෙද. කතාව මට කොච්චර සංවේදී උනාද කිව්වොත් නාන ලිඳ ගැන මගේ හිතේ මෙතරම් බැඳීමක් තිබුන කියල මංවත් දැනන් හිටියෙ නෑ.
අපේ ගෙදර තිබුනෙ වෙලටත් පාරටත් මැදිවූ සිහින් බිම් තීරුවක. මගේ කතාව නාන ලිං දෙකකට සම්බන්ධයි. එකක් ගෙට දකුණු පැත්තෙන් අපේ වත්තෙ තිබුණ නාන ලිඳ. ප්‍රමාණයෙන් කුඩයි. බුලත් වලට වතුර දාන්න සීය කපපු ලිඳක්ලු. අපේ ගේ එතන හැදුවට පස්සෙ ඒක අපේ නාන ලිඳ වුනා. අනික වම් පැත්තෙන් කම්බි වැටට එහයින් ආච්චිලගෙ වත්තෙ තිබුණු නාන ලිඳ. ඒක හුඟක් පරණ වගේම විශාලයි. කවදාවත් හිඳෙන්නෙ නෑ. තද පෑවිල්ලකට උනත් ඉහින්නෙ අමාරුවෙන්. ලිං දෙකම අපේ ගෙදරට හුඟක් කිට්ටුයි.
නාන ලිඳක් කියන්නෙ අතින් වතුර ගන්න පුළුවන් ලිඳක්. තද ඉඩෝරයකදි විතරක් පනිට්ටුවට පොඩි කඹ කෑල්ලක් බැදගන්න ඕන. ලිඳ වගේම ලිං මිදුලත් සුවිශේෂයි. බැඳපු ලිං තිබුනත් මේ ලිං දෙකම එහෙම කරල තිබුනෙ නෑ. ලිං මිදුල තියෙන්නෙ පොලෝ මට්ටමින් අඩි කීපයක් පහලින්, පොළවෙ වතුර මට්ටමට වෙන්න. හැබයි ඇලේ වතුර මට්ටමට වඩා ඉහලින්. නැත්නම් වතුර බස්සන්න බෑනෙ. නිතරම ලිඳේ වතුර උතුරල ලිං මිදුල දිගේ ඇලට ගලාගෙන යනව. නාන ලිං සුලභ නැත්තේ සහ වෙලවල් අයිනෙ විතරක් තියෙන්නෙ මේ අවශ්‍යතා සම්පූර්ණ වෙන්න ඕන හින්ද.

ආච්චිලගෙ නාන ලිඳ පරම්පරා ගානක් පැරණි එකක්. නාන ලිඳත් එක්ක බැදුනු සංස්කෘතියකුත් තියෙනව. හිසතෙල් ගාන දවසට සීයගෙ ගෙදර එන ඔක්කොම නෑයො නාන්න ලිඳට යනව. අම්ම කියනව සීයගෙ තාත්තගෙ කාලෙත් එහෙමලු.
ඉස්සර හැම ගෙදරකම ලිඳක් කපන සිරිතක් නෑ.ගැහැණු වතුර කලගෙඩි අරන් ඇවිත් බොන ලිං වලින් පුරවගන්නව, උයන්නයි, බොන්නයි. නාන ලිඳකට හරි ඇලකට හරි ගිහින් රෙදි හෝදල නානව. ඒ තියා හැම ගෙදරකම වැසිකිලියක් තිබ්බෙත් නැද්ද කොහෙදලු. කැලේට ගිහින් සෝදගන්න ඇලට යනවළු.

මගේ මුළු ළමා කාලයම ලිඳත් එක්ක බැඳිල තිබුණු බව මට මතක් වෙන්නෙ දැන්. නිවාඩු කාලෙට අම්මගෙ සහෝදරයින්ගෙ ළමයි ඔක්කොම වගේ නිවාඩුව ගත කරන්න ආච්චිලගෙ ගෙදර එනව. අපිට සෙල්ලම් කරන්න තියෙන ප්‍රධාන තැනක් තමයි ලිං මිදුල. කොච්චර කෑ ගැහුවත් අපිව ලිඳෙන් ගොඩට ගන්න ලේසි නෑ. සුදු වැලි පිරිච්ච මිදුලෙ අපිට කරන්න සෙල්ලම් ඕනතරම්. කිරි මැටි වලින් එක එක වැඩ. ඇයි මාළු? කූඹි සයිස් කුඩා මාළු රෑන් කුඩා පනිට්ටුවෙන් අල්ලනව මට අදවගේ මතකයි. බත් මුට්ටිය ලිඳට දැම්මම දංකුඩ කන්න මාළු පොරකනව. නැතුව උන් අල්ලන්න ලේසි උනේ නෑ. නිවාඩු ඉවරවෙලා ගෙවල් වලට යනකොට මාළු පැටවු ගෙනියන්න රණ්ඩු. ලිඳට වැටිච්ච කතා, ඊට පස්සෙ වැඩිහිටියන්ට කියපු බොරු අදටත් මතක්කර රසවිඳින්ට පුළුවන්.
නාන ලිඳක් කියන්නෙ වෙනම පරිසර පද්ධතියක්. ලිං කණ්ඩිය හෝදගෙන යනවට වවල තිබුණු පුවක් ගස්, අරත්ත පඳුරු, කදුරු ගස්, මීවන වර්ග, දියසෙවල, මාලුන්, ගෙම්බන් හා ඉස්ගෙඩින්, දියමත ඇවිදයන නම නොදන්න මකුලුවන් වැනි සතුන්, සතියකට දෙපාරක්වත් ඇවිත් යන දියනයින්,රෑට එන කබරගොයින් හා මා තවමත් හරිහැටි දැක නැති දිය බල්ලන්, නෑමට දිය බීමට හා දඩයමක් කර ගැනීමට එන සියලු පක්ෂීන් එයට අයත්. සුදුරෙදි හොරා සිවුරු හොරා වගේ පර්යටන පක්ෂීන් කිහිපදෙනෙකුත් වාර්ෂිකව ලිඳ ආශ්‍රිත පරිසරයට තවමත් එනව.
නාන ලිඳෙන් නාන විධියත් හරි අපූරුයි. අපේ සීය නෑවෙ අමුඩයක් ඇඳගෙන වාඩිවෙලා ලිඳට කකුල් දෙක දාගෙන. සමහරු දන ගහගෙන නානව. හුඟක් අය නැමිල වතුර අරගෙන ඔලුවට වක්කරගන්නව. අපි පොඩිකාලෙ නෑවෙ වතුර පනිට්ටු ගාන ගැනල. සබන් ගාන්න කලින් විස්සයි, පස්සෙ 15යි ආදි වශයෙන්. අඩුවෙන් හරි වැඩියෙන් හරි නෑවොත් හෙම්බිරිස්සාව හැදෙන බව තමයි කියවුනේ. ඒක අපිව ලිඳෙන් ගොඩ ගන්න ගොතපු බොරුවක්ද කොහෙද.
මට මතක කාලෙ වැහි කාලෙට ලිඳෙන් නාන්න මහ පිරිසක් ආවෙ නෑ. නෑයො ටිකයි, ආච්චි අම්මත් එක්ක ඕපයක් කියන්න පුරුදුවුනු ගැහැණු කීපදෙනෙකුයි, වෙල් වැඩ කරන අයයි හැමදාම වගේ ආව. පායන කාලෙට තත්වය වෙනස්. ඈතින් පවා මිනිස්සු ඇවිත් නානව.
අපි පුංචිකාලෙ ගම වේගයෙන් වෙනස් වුනා. වෙන්දේසි ඉඩම් වල නන්නාදුරන මිනිස්සු පදිංචි උනා. ගාමන්ට් ෆැක්ටරි වල වැඩකරන අය අපේ ගමෙත් බෝඩිම් වුනා. කසිප්පු ව්‍යාපාරය තදින් පැතිරෙන්නෙ මේ කාලෙදි වෙන්න ඇති. පායන කාලෙදි නාන්න එන පිරිස තවදුරටත් ගමේ දන්නාදුනනන හිතවත්තු විතරක් වුනේ නෑ. සමහරු අයිතිකාරය වෙච්ච සීයට පවා නිසි ගරුත්වයෙන් සැලකුවෙ නෑ. අමුඩ ඇඳගෙන දියරෙදි ඇඳගෙන නාන ගැහැණු පිරිමි අලුත් දෙයක්  නොවුනත්, ලන්කට් ඇදගෙන නාන පිරිමි එතනට ගැලපුනේ නෑ. දවල්ටත් මාව මිදුලට නොයව තියාගන්න අම්මට සිදුවුනා. බහ තෝරන මල්ලි, ලිඳ ලඟ ඇහෙන කුණුහරප කියන්න ගත්ත. බීපු මිනිස්සුන්ගෙ සින්දු, රණ්ඩු රෑ පුරා ඇහුන. ලිං මිදුලෙ මුත්‍රා කරල තව කට ගහගෙනත් ආපු අලුත් චණ්ඩියෙකුට ගහල පන්නන්න තාත්තට සිදුවුනා. ඇයි දෙය්යනේ ආච්චි අම්ම ඔය ලින් මිදුලෙ හීන් වැල්ලෙන් දතුත් මදිනව.
තවත් කරදරයක් තිබුනා. ලිං ඉවුර කඩා වැටෙමින් ලිඳ නොනවත්වා විශාල වීම. කම්බි වැටත් ගලෝගෙන අපේ මිදුල ආක්‍රමණය කරන ලිඳ නවත්වන්න ගල් වැටියටවත්, පුවක් ගස් කීපයකටවත් හැකි වුනේ නෑ.
කරදර ඉවසන්න බැරි තැන තාත්ත ලිඳ වහන්න සීයගෙන් අවසර ගත්තා. නෑයො, අහල පහල ඔක්කොටම අපේ ලිඳේ නාන්න එන්න ආරාධනා කලා. අහල පහල අයට කිව්ව ලිඳ කඩා වැටෙන නිසා වහල දානව කියල. කවුරුවත් තාත්තට විරුද්ධ වුනේවත් වැඩේ වැරදියි කිව්වෙවත් නෑ. පරම්පරා ගානක් නාපු ලිඳ වහන්න අපේ තාත්ත මූලික වුනේ එහෙමයි.
ලිඳ වහන්න පටන් ගත්තෙ වැඩිය කාටත් නොදැනෙන වැහි කාලෙට. මට මතකයි මුලින්ම කෙහෙල් කඳන් දාල ඊට උඩින් අතු කොලරොඩු දාල, කාලයක් ගොඩවෙන්න ඇරල පස් දැම්ම. දැන්නම් එතන ලිඳක් තිබුනද කියලවත් හොයාගන්න බෑ.
අපේ ලිඳ ඊලඟ පායන කාලෙදි ජනාකීර්ණ වුනා. නමුත් ඒකට එන්න ඕන අපේ ගේට්ටුව හරහා මිදුල දිගේ ඇවිත්.ආච්චිලගෙ ලිඳ වගේ විවෘත නැහැ. ලඟ හිතවත්තු නෑයො ඇරුනම නොදන්න කෙනෙක් අවොත් අහල කරල තමයි නෑවෙ. කාටවත් එපා නොකිව්වත් එන පිරිස සීමා උනා. නෑයො නම් දිගටම ආව. කාලයක් යනකොට හැම ගෙදරකම වතුර මෝටර් හයි වුනා. වොෂින් මැෂින් ආව. ලිඳට ඇවිත් නාන එක කලාතුරකින් විනෝදෙට කරන දෙයක් වෙලා පස්සෙ හිසතෙල් ගාන දවසට විතරක් සීමා වුනා.
නවීන තාක්ෂනය අපේ ගෙදරට ආවෙ හෙමින්. තාත්ත වතුර මෝටරයක් හයි කරනවට කොහෙත්ම කැමති වුනේ නෑ, අතින් වතුර ගන්න පුළුවන් කම තියෙද්දි මොන මෝටර්ද කියල. අපේ ගෙදර නාන කාමරයක් හදල වතුර මෝටරයක් හයිවෙන්නෙ මම උසස් පෙළ අවසන් කරන කාලෙ. ඒත් නීතිය තමයි රෑට ඇරෙන්න නානකාමරය පාවිච්චිය තහනම්. ඒ නිසා ලඟක් වෙනකල්ම අපි නෑවෙ ලිඳෙන්. ආච්චි අම්මනම් මැරෙනකල්ම නෑවෙ ලිඳෙන්. එයා කියන්නෙ ෂවර් එකෙන් නාන එක නිකම් වැස්සට තෙමෙනව වගේ එකක් මිසක් නෑමක් නෙවෙයිලු.
මම විශ්වවිද්‍යාලයට ගියා ඉන්පසු රෑකියාවට. පාන්දර ගිහින් රෑවෙලා එනකොට ලිඳට යන්න අවස්ථාවක් ලැබෙන්නෙ නිවාඩු දවසක විතරයි. මුලින් තාත්තට හොරෙන් දවල්ට නාන කාමරය පාවිච්චි කරල පස්සෙ ඒක පුරුද්දකට ගියා. ඇඟපතේ අමාරු නිසා අම්මයි තාත්තයිත් නල ජලයට හුරුවුනා. නාන ලිඳේ භාවිතය අඩු වුනා. මමත් විවාහ වෙලා ගෙදරින් ගියා.
ටික කලකට කලින් ගෙදර ආපු වෙලාවක ලිඳෙන් නාන්න ගියාම තමයි සෞඛ්‍ය ප්‍රශ්නයක් කියල අම්ම ලිඳෙන් නාන්න එපා කිව්වෙ. හැමදාම වැහි කාලෙට ඇල උතුරල ලිඳයි ඇලයි එකක් වෙනව. ටික දිනකින් වතුර බැහැල ලිඳ පෑදුනාම අපි ආයෙත් නානව. අම්ම කියන්නෙ ඇල උතුරපුවාම ඒකෙ ජරාව ලිඳට එනව කියල. අනේ මන්ද ඕවයෙ ඇත්ත නැත්ත. අම්මනං කිව්වෙ පුන්චිගෙ පුතාගෙත් ඇඟ කැසුවලු නෑවට පස්සෙ. මී උණ කතාවකුත් එහෙන් මෙහෙන් ඇහුන.
දැන් ලිඳෙන් කවුරුවත් නාන්නෙ නෑ. අම්ම ඉඳල හිටල රෙදි හෝදනව. හැමදාම වගේ ලිං මිදුලෙ වලං හෝදනව. වැඩි පාවිච්චියක් නැති නිසා ලිං මිදුල දියසෙවෙල බඳිල, දැලි එකතුවෙලා, වතුරත් බොර පාටයි. අවුරුදු ගානකින් ලිඳ ඉහල නෑ. ඒ නිසා පෑවිල්ලට වතුර ගඳ ගහනව. ඉස්සර තාත්තයි මමයි තනියම ඕක ඉහල මඩ අයින් කරනව.
මම ගිය ඉරිදත් ලිං පඩිය උඩට වෙලා ලිඳ දිහා හුඟක් වෙලා බලන් හිටිය, හැලපකඩේ ලිපියත් පුංචි කාලෙ මතකයත් අතර හිත දිව හරිමින්. මාළු, කුරුල්ලො, දියනයි තාමත් ලිඳට එනව යනව.
මේ සිංහල අවුරුද්දට කලින් මල්ලියි මහත්තයවයි අල්ලගෙන කොහොම හරි ලිඳ ඉහින්න ඕනෙ. ඒගොල්ලො වැඩේට කමති කරගන්න එක තමයි ඊලඟ ප්‍රශ්නෙ.