වේයන්ගොඩ සිට දුම්රියෙන් කොළඹ කොටුව දෙසට යනවිට හමුවන ප්‍රථම දුම්රිය ස්ථානය හීන්දෙනිය - පට්ටිගොඩ දුම්රිය ස්ථානයයි. කෙටිම නමක් ඇති දුම් රිය ස්ථානය "වග"වග බොහෝ දෙනා දනිති. දිගම නම ඇති දුම්රිය ස්ථානය 'හීන්දෙනිය පට්ටිගොඩ'යැයි සිතමි.
මේ දීර්ඝ නමටත් ඉතිහාස කතාවක් තිබේ. මෙම කතාව තාත්තා විසින් සමඟි පෙරමුණු රජයේ ප්‍රශ්න විසඳීමේ සමර්තකම පිලිබඳ උජාරුවෙන් කිය ලද්දක් බැවින් ගල් වැලි ඉවත් කර, හරය පමණක් ගත යුතුය. :)
ඔහු පැවසූ පරිදි කතාව මෙසේය.
හීන්දෙනිය හා පට්ටිගොඩ නමින් විශාල වෙල් යායකින් වෙන් වූ ගම්මාන දෙකක් වේ. මේ කියන කාලයේ (60 දශකයේ පමණ විය යුතුය ) එම ගම් දෙක අතර නයි මුගටි වර්ගයේ තරහක් වීලු! මේ අතරතුර එම ප්‍රදේශයට දුම්රිය ස්ථානයක් ද යෝජනා වී තිබිණි. ගහමරාගැනීම් නිසා එක් ගමක දුම්රිය ස්ථානය ඉදිකලොත් අනෙක් ගමේ අයට එයට පැමිණීමට නොහැකිලු! දෙපැත්තේම ඉල්ලීම් සලකා බැලූ එවක රජය විසින් ( තාත්තාගේ මතයට අනුව එලකිරි වර්ගයේ ) විසඳුමක් සපයන ලදී. එනම් ගම් දෙක මැද පිහිටි වෙල්යායේ මැදට වන්නට දුම්රිය ස්ථානය ඉදිකිරිමය!
කොතෙක් සාදාරනද කියතොත්, ගම් දෙකේම නම් පවා එකතුකොට දුම්රියපලට නම් තබන ලදී. (පට්ටිගොඩ හීන්දෙනිය ලෙස නම් නොකිරීම පිලිබඳව ප්‍රශ්නයක් ඇති උනාද දන්නෙ නෑ :D )
බැලූ බැල්මට සාධාරණ යැයි සිතුනද, එමඟින් පැන නැගුණු ගැටලු රාශියක්වේ.
මෙම දුම්රිය ස්ථානයට මෑතක් වනතුරුම පාරක් නොතිබිණි. මඟීන් පැමිණියේ වෙල නියරක් ඔස්සේය. දැනට ඇති පාරද ත්‍රිරෝද රථයකට වඩා විශාල වාහනයකට ප්‍රමාණවත් නොවේ.
ප්‍රවාහනය සඳහා සියලු බඩු කර තබාගෙන පැමිණිය යුතුය. ලොරියකට කිසිදා දුම්රිය ස්ථානය අසලට පැමිණිය නොහැක.
වැසි කාලයට මුළු පාරම ජලයෙන් යටවේ. සියලු මඟීන් අවදානමක් ගෙන පැමිණෙන්නේ රේල් පාර ඔස්සේය.
මා දන්නා තරමින් බස්නාහිර පලාත තුල පිහිටි පහසුකම් අඩුම දුම්රිය ස්ථානය හීන්දෙනිය පට්ටිගොඩ යැයි සිතමි.
දැන් ගම් දෙක අතර අරෝව වැඩිහිටියන් හාස්‍යයෙන් සිහිකරන අතීත සිද්ධියක් පමණි.
බාල පරම්පරාව එහෙම එකක් තිබුනාද කියාවත් දන්නේ නැත!
ඔවුන් සිතනු ඇත්තේ තව මීටර් හාර පන්සීයක් ඉදිරියෙන් ඇති හතරමං හන්දිය අසල දුම් රියපල ඉදිවීනම් කෙතරම් පහසුද කියා පමණි.
ගම්වල තරහ මරහ වැඩිකල් නොපවතී. ඊට වඩා ආයුෂක් දුම්රියපලකට තිබේ. මහදැන මුත්තා විසින් එළුවාගේ බෙල්ලත් කපා මුට්ටියත් බිඳ සාදාරණය ඉටු කරන ආකාරයේ බොලඳ තීරන නොගෙන දුරදිග බලා කටයුතු කල යුතුව තිබිණි.